මුල් පිටුව කෞතුකාගාර

කෞතුකාගාර අංශය

පුරාවිද්‍යා කෞතුකාගාර ආරම්භය සහ විකාශය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉලක්ක හා අරමුණූ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට අමතරව පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන්නන් වෙනුවෙන්, දෙපාර්තමේන්තුව විසින් එකතු කරන ලද පුරාවස්තු ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය විය. දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වර්ෂ 1930 දී අනුරාධපුරයේ සිට කොළඹට ගෙනෙන ලද අවස්ථාවේ දී දෙපාර්තමේන්තුව සතුව තිබූ වැදගත් පැරණි කාසි කොළඹ කෞතුකාගාරයට භාර දී ඇත. දෙපාර්තමේන්තුව සතුව පැවති ඇතැම් ගල් කැටයම් කෞතුකාගාරයේ නව ගල් රූකම් කොටසේ ප්‍රදර්ශනය කරන ලදි.

අනුරාධපුරයේ ඉතිරිව තිබූ භාණ්ඩ වර්ෂ 1931 දී ගල් රූකඩ ශාලාවක සහ මැටි භාණ්ඩ ශාලාවක සම්පූර්ණයෙන් ම සකස් කරන ලදි. නමුත් මෙම කාමර දෙක වෙන වෙන ම පිහිටා තිබූ නිසා එම භාණ්ඩ නැරඹීම දුෂ්කර කාර්යයක් යැයි සිතුන හෙයින් 1934 දී ඒවා එකම කාමරයක් තුළ පිළිවෙලට තබන ලදි. මේ කාලය වන විට අනුරාධපුර කෞතුකාගාරය තිබිය යුතු බව දෙපාර්තමේන්තුවට තදින් ම දැනී ඇත. දෙපාර්තමේන්තුවේ භාණ්ඩ එකතුවට දිගින් දිගටම අලූතින් භාණ්ඩ හමු වූ අතර 1950 වන විටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කෞතුකාගාර ඇති කිරීමේ උත්සාහයක් නො තිබිණි.

කුරුණෑගල දිසාපතිවරයා සමඟ කළ ලියුම් හුවමාරුවකින් කුරුණෑගල දිසාපති නිල නිවාසය පුරාවිද්‍යා කෞතුකාගාරයක් වශයෙන් ලබා ගැනීමට අකැමති නැති බව සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත. දෙපාර්තමේන්තුවේ ප්‍රථම ප්‍රදර්ශනය වූයේ 1949 ජූනි 8 සිට 12 දක්වා බැද්දගාන කැණීම් බිමේ පැවත් වූ ප්‍රදර්ශනයයි.

පුරාවිද්‍යා කෞතුකාගාරයන්හි ආරම්භය 1940 දශකයේ පමණ සිදු වුව ද, එහි වර්ධිත අවධිය වර්ෂ 1950 සිට සිදුව ඇත. මෙහි ආරම්භක නාමය වන්නේ පුරාවිදු භවන යන්නයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යය භාරය ආරම්භ වීමෙන් අනතුරුව වර්ෂ 1940 දක්වා ගෙවුණු කාලය තුළ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබුණු පුරාවස්තු ප‍්‍රමාණය ඉතාමත් ඉහළ මට්ටමක පවතී. අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය ආරම්භ කරන තෙක් ම ප්‍රදර්ශනය සඳහා වඩාත් උචිත පුරාවස්තු ජාතික කෞතුකාගාරය වෙත ලබා දුන් අතර, සෙසු පුරාවස්තු පුරාවිද්‍යා රසායනාගාරය, පුරාවිද්‍යා ගබඩා ආදියෙහි මෙන් ම කැණීමට ආසන්න ස්ථානයෙහි අවිධිමත් ලෙස ගොඩ ගසා තිබිණි. මෙම හේතුව නිසා ඒ සඳහා විධිමත් පිළියමක් වශයෙන් 1947 දී අනුරාධපුර පුරාවිදු භවන, සෙනරත් පරණවිතාන මහතාගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ කෙරිණි.

ක්‍රි. ව. 1952 දක්වා පුරාවිද්‍යා කෞතුකාගාර, පුරාවිදු භවන වශයෙන් හඳුන්වා ඇත. ඉන් පසුව මෙය පුරාවිදු කටුගෙය බවට පරිවර්ථනය විය.

ඒ ඒ වස්තුන්ට පැරණි සංස්කෘතියෙහි අත්විය යුතු නියම තැන පිළිබඳ එළිදරව් කිරීමට තුඩුදෙන වටපිටාවෙන් ඒ වස්තූන් ඉවත් කොට එක මධ්‍යස්ථානයක ප්‍රදර්ශනය කළ යුතුය යන මතයට පටහැනිව පුරාවිදු අධිකාරිය විසින් අරඹන එක් එක් පෙදෙස්වලින් හමු වූ පැරණි භාණ්ඩ ඒවා අසුරා තැබූ පෙදෙසෙහි ම අතුරු කටුගෙවල් ප්‍රදර්ශනය කිරීමේ ප්‍රතිපත්තිය වඩා යුක්තිසහගත බවට දැදිගම පුරාවිදු කටුගේ කදිම නිදසුනකි.

පුරාවිද්‍යා කෞතුකාගාර ඉදිකිරීමේ ආරම්භයත් සමඟ ප්‍රාදේශීය පුරාවිද්‍යා කෞතුකාගාර ආරම්භය ක‍්‍රමිකව විකාශනය වූ අතර, 1962 වසරේ දී නාරන්විට සුමනසාර සෙල් කැටයම් පුරාවිදු කටුගෙය යන නමින් රුවන්වැලිසෑ කටුගෙය ද, 1962 දී පොළොන්නරුව පොදු සේවා ක්‍රීඩා සමාජ ශාලාවෙහි පුරාවිදු කටුගෙය ඉදිකිරීම මෙන් ම, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් පවත්වා ගෙන යනු ලැබූ යාපන කෞතුකාගාරය එහි සේවකයින් ද සමඟ පුරාවිද්‍යා අධිකාරියට ලබා දීම හා එහි කෞතුකාගාරය පවත්වා ගෙන යාම ද පුරාවිදු අධිකාරිය මගින් සිදු විය.

මින් අනතුරුව ක්‍රි. ව. 1965 දී මහනුවර කෞතුකාගාරය ද, ක්‍රි. ව. 1966 වසරේ දී සීගිරිය කෞතුකාගාරය ද ඉදි කළ අතර, යාපහුව කෞතුකාගාරය ද මෙයට සමගාමීව ක්‍රි. ව. 1966 වසරේ දී මූලික කටයුතු ආරම්භ කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ක්‍රි. ව. 1970 වසරේ දී නැගෙනහිර පළාත සඳහා පුරාවිද්‍යා කෞතුකාගාරයක් ආරම්භ කිරීම සිදු විය. ක්‍රි. ව. 1979 වන විට අම්පාර, ඉසුරුමුණිය, මහියංගනය, කතරගම, අම්බලන්තොට ආදී ස්ථානවල පුරාවිද්‍යා කෞතුකාගාර ආරම්භ විය. මීට අමතරව වර්තමානය වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කෞතුකාගාර වර්ධනය සීඝ්‍රයෙන් ආරම්භ විය.

ගවේෂණ හා කැණිම් මගින් මතු කර ගන්නා ලද සංස්කෘතික වටිනාකමක් ඇති භාණ්ඩ සංරක්‍ෂණය කිරිම, ආරක්‍ෂා කිරිම, ප්‍රලේඛණය හා නඩත්තු කිරිම යන මුල ධර්ම ක‍්‍රියාත්මක කරමින් පොදු ජනතාව වෙත දැනුම හා විනෝදය සැපයීම සඳහා සියලු පහසුකම් සපයා දීම හා අතීත වස්තුන්, සිදුවීම් හා ක‍්‍රියාකාරකම්, ආරක්‍ෂා කරමින්, ඒ තුළින් දැනුම, අවබෝධය, අධ්‍යාපනය හා විනෝදය සත්‍ය හා ආකර්ශනිය ආකාරයෙන් මහජනයා වෙත සන්නිවේදනය කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.

A B C තොරතුරු මධ්‍යස්ථාන
යාපනය වව්නියාව පදවිය වෙහෙරගල
අනුරාධපුරය මිහින්තලේ සේරුවිල තන්තිරිමලේ
මහනුවර දීඝවාපිය ඉසුරුමුණිය නාලන්ද
පඬුවස්නුවර යාපහුව ලාහුගල හත්තිකුච්චි
බුදුරුවගල දැදිගම මාලිගාවිල
කෝට්ටේ දඹදෙණිය
යටාල පිදුරංගල
මාතර තාරකා කොටුව මුල්කිරිගල
කසාගල
වෙල්ගම්වෙහෙර

අංශයේ මූලික ව්‍යුහය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු කෞතුකාගාර

උතුරු මැද පළාත

වයඹ පළාත

මධ්‍යම පළාත

නැගෙනහිර පළාත

බස්නාහිර පළාත

දකුණු පළාත

උතුරු පළාත

ඌව පළාත

සබරගමුව පළාත

අනුරාධපුර කෞතුකාගාරය (ජාතික)

1947 දී අනුරාධපුර පුරාවිදු භවන, සෙනරත් පරණවිතාන මහතාගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ කෙරිණි. මෙය පැරණි කච්චේරි ගොඩනැගිල්ලේ පිහිටා ඇත. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමු වූ පුරාවස්තු මෙම කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. විවිධ යුගවලට අයත් බුද්ධ ප්‍රතිමා, ශිලා ලේඛන එකතුවක්, කාසි එකතුවක් සහ ඊට අමතරව නොයෙකුත් පුරාවස්තු රාශියක් ප්‍රදර්ශනයට තබා ඇත. මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ජාතික කෞතුකාගාරය වශයෙන් නම් කිරීමට යෝජිතය. මෙම කෞතුකාගාරය ඇතුළත සහ පිටත විවෘත ප්‍රදේශය ප්‍රදර්ශනය සඳහා භාවිත කර තිබේ.

දුරකතනය : +94 25 3856564

ඉහළට

මිහින්තලය කෞතුකාගාරය (ස්ථානීය)

මිහින්තලය පූජා භූමියෙන් හමු වූ පුරාවස්තු තැන්පත් කර, ස්ථානීය කෞතුකාගාරයක් වශයෙන් ප්‍රදර්ශන මටිටමේ පවතී. දැනට ප‍්‍රතිසංස්කරණ මට්ටමේ පවතී.

දුරකතනය : +94 25 2266005

ඉහළට

වෙහෙරගල කෞතුකාගාරය (ස්ථානීය)

 

වෙහෙරගල පූජා භූමියෙන් හමු වූ පුරාවස්තු තැන්පත් කර ස්ථානීය කෞතුකාගාරයක් වශයෙන් පවත්වා ගෙන යනු ලබයි. කෞතුකාගාරය අභ්‍යන්තරය සහ බාහිර ප්‍රදේශයෙහි මෙම පුරාවස්තු ප්‍රදර්ශනයේ පවතී.

ඉහළට

ඉසුරුමුණිය කෞතුකාගාරය (ස්ථානීය)

ඉසුරුමුණිය පූජා භූමියෙන් හමු වූ පුරාවස්තු තැන්පත් කර ස්ථානීය කෞතුකාගාරයක් වශයෙන් පවත්වා ගෙන යනු ලබයි.

ඉහළට

තන්තිරිමලේ කෞතුකාගාරය (ස්ථානීය)

තන්තිරිමලේ පූජා භූමියෙන් හමු වූ පුරාවස්තු තැන්පත් කර ස්ථානීය කෞතුකාගාරයක් වශයෙන් පවත්වා ගෙන යනු ලබයි. එම ස්ථානයේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික උරුමය ප්‍රදර්ශනය වන පරිදි මෙම කෞතුකාගාරය නිර්මාණය කර තිබේ.

ඉහළට

පඬුවස්නුවර කෞතුකාගාරය (ප්‍රාදේශීය)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර ප්‍රාදේශීකයට අයත්ව පිහිටා ඇති මෙය, කුරුණෑගල හලාවත මාර්ගයේ කොටම්පිටිය හන්දියේ ස්ථානගත ය. කෞතුකාගාරය සමිබන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්වීමක් පළමු වරට 1970 දශකයේ පමණ දක්නට ලැබේ. ඉන්පසු වර්ෂ 1977 දී ස්ථාන භාර නිලධාරී නිල නිවාසයේ කෞතුකාගාරය සකස් කළ අතර 1983 වර්ෂයේ දී දැනට පවත්වා ගෙන යනු ලබන කෞතුකාගාරය දෙපාර්තමේන්තුවට පවරා ගත් පරණ ගොඩනැගිල්ලෙහි පවත්වා ගන යනු ලබයි. මෙය වයඹ පළාත් ප්‍රාදේශීය කෞතුකාගාරය වන අතර කැණීම්වලින් සොයා ගත් පුරාවස්තු, පරිත්‍යාග, අධිකරණ තීන්දු අනුව සහ කුරුණෑගල පළාත් සභාව කෞතුකාගාරය මගින් ලබා දුන් පුරාවස්තු අතර, දුර්වල පුරාවස්තු කීපයක් ද ප්‍රදර්ශනය කෙරේ.

දුරකතනය : +94 37 2291065

ඉහළට

පුත්තලම කෞතුකාගාරය (ස්ථානීය)

සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශ ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ මෙහෙයවීමෙන් පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතිය ගොඩනැංවීමේ හා සංවර්ධනය කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය ගරු දි. මූ. දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2006 - 08 - 17 දින මෙය විවෘත කරන ලදි. ප්‍රදේශයෙන් හමු වූ පුරාවස්තු කිහිපයක් දැනට ප්‍රදර්ශනයේ පවතී.

දුරකතනය : +94 32 2265861

ඉහළට

රාජාංගනය කෞතුකාගාරය (ස්ථානීය)

 

මයිලෑව තඹුත්ත ප්‍රදේශයට අයත් රාජාංගනය හෙවත් හත්ථිකුච්චි විහාරය ආසන්නයේ පිහිටා ඇති මෙම ස්ථානීය කෞතුකාගාරය පළමුවෙන් තිබූ ස්ථානයෙන් ඉවත් කර නව ගොඩනැගිල්ලක සැළසුම් කරමින් යනු ලැබේ. එහෙත් මේ වන විට කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර නැත. හත්ථිකුච්චි විහාරයේ ඓතිහාසිකත්‍වය ඔප්නංවනු වස් එම ස්ථානයෙන් හමු වූ පුරාවස්තු ප්‍රදර්ශනය කරමින් ස්ථානීය කෞතුකාගාරයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීමට යෝජිත ය.

දුරකතනය : +94 37 3877726

ඉහළට

යාපහුව කෞතුකාගාරය (ස්ථානීය)

 

යාපහුව විහාරස්ථානය අසළින් ම පිහිටි කෞතුකාගාර ගොඩනැගිල්ල මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කොට නව ගොඩනැගිල්ලක් ඉදිකරමින් ප්‍රදර්ශන සැළසුම් කර තිබේ. එහි යාපහුව ප්‍රදේශයේ දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක උරුමයන් පිළිබඳ විස්තර පුවරු සහ යාපහුව පුජා භූමියෙන් හමු වූ පුරාවස්තු කිහිපයක් ප්‍රදර්ශනය කෙරේ. මෙම නව යාපහුව කෞතුකාගාරය 2010 වර්ෂයේ දී මහජන ප්‍රදර්ශනය සඳහා වවෘත කරනු ලැබූවකි.

දුරකතනය : +94 37 3981395

ඉහළට

දඹදෙණිය කෞතුකාගාරය (ස්ථානීය)

 

දඹදෙණිය ස්ථානීය පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි එම විහාරස්ථානයේ හිමියන් විසින් එක්රැස් කර තිබූ භාණ්ඩ ද දඹදෙණිය පර්වතය ආශ්‍රිත ව සොයා ගන්නා ලද මැටි බඳුන් කිහිපයක් ද ඡායාරූප ඵලකද ප්‍රදර්ශනයේ පවතී. එය 2008 වර්ෂයේ අප්‍රේල් මස මහජන ප්‍රදර්ශනයට පත් විය.

දුරකතනය : +94 37 3877729

ඉහළට

මහනුවර කෞතුකාගාරය (ප්‍රාදේශීය)

මධ්‍යම පළාතෙන් හමු වූ පුරාවස්තු මෙම කෞතුකාගාරයෙහි තැන්පත් කර තිබේ. දැනට ප්‍රාදේශීය කෞතුකාගාරයක් වශයෙන් ප්‍රදර්ශන මට්ටමේ පවතී.

ඉහළට

නාලන්ද කෞතුකාගාරය (ස්ථානීය)

2008 මාර්තු මස මෙම කෞතුකාගාරය ඡායාරූප කෞතුකාගාරයක් වශයෙන් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබේ. නාලන්ද පුරාවිද්‍යා ස්ථානයේ සහ අවට ඇති පුරාවිද්‍යාත්මක ස්ථානවල ඡායාරූප මෙහි ප්‍රදර්ශනය කෙරේ.

දුරකතනය : +94 81 3827734

ඉහළට

පිදුරංගල කෞතුකාගාරය (ස්ථානීය)

පිදුරංගල පුරාවිද්‍යා භූමියෙන් හමු වූ පුරාවස්තු සහ ඡායාරූප මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත. ස්ථානිය කෞතුකාගාරයක් වශයෙන් පිදුරංගල ස්ථානයෙන් හමු වූ පුරාවස්තු හා ඡායාරූප ප්‍රදර්ශනය කෙරේ. එය 2008 මාර්තු 13 වන දින මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදි.

ඉහළට

දීඝවාපිය කෞතුකාගාරය (ප්‍රාදේශීය)

නැගෙනහිර පළාතෙන් හමු වූ බොහෝ පුරාවස්තු ප්‍රමාණයක් මෙම කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර, දීඝවාපිය පුරාවිද්‍යා ස්ථානයේ පුරාවස්තු රාශියක් ප්‍රදර්ශනයෙහි තබා ඇත. මෙය අම්පාර ප්‍රාදේශීය පුරාවිද්‍යා කෞතුකාගාරය වශයෙන් පවත්වා ගෙන යනු ලබයි.

ඉහළට

සේරුවිල කෞතුකාගාරය (ස්ථානීය)

සේරුවිල විහාරයෙහි විහාරාධිපති හිමියන් විසින් එක්රැස් කර තිබූ පුරාවස්තු තැන්පත් කොට මෙම කෞතුකාගාරය නිර්මාණය කොට ඇත. විස්තර පුවරු ඇතුළත් වන සේ සේරුවිල පුරාවිද්‍යා භූමියෙන් සොයා ගන්නා ලද පුරාවස්තු පමණක් දැනට තැන්පත් කොට ඇති මෙම කෞතුකාගාරය ප්‍රදර්ශන මට්ටමට සකස් කර ඇත.

ඉහළට

වෙල්ගම් වෙහෙර කෞතුකාගාරය (ස්ථානීය)

වෙල්ගම් වෙහෙර ස්ථානීය කෞතුකාගාරයක් වශයෙන් සකස් වෙමින් පවතී.

ඉහළට

කෝට්ටේ කෞතුකාගාරය (ප්‍රාදේශීය)

වර්ෂ 1992 දී ඊ. ඩබ්. පෙරේරා ජීවත්වූ නිවස කෞතුකාගාරයක් වශයෙන් යොදා ගනිමින් ඊ. ඩබ්. පෙරේරා අනුස්මරණ කෞතුකාගාරය වශයෙන් විවෘත කරන ලද මෙය මේ වනවිට ප්‍රදර්ශන මැදිරි 5 කින් යුක්ත ය. පැරණි ස්මාරක, ඡායාරූප, විවිධ කොඩි, කඩු, කිණිසි, තුවක්කු, ප්‍රතිමා කාසි පිඟන් භාණ්ඩ, මැටි භාණ්ඩ හා ඊ. ඩබ්. පෙරේරා මහතා පරිශීලනය කරනු ලැබූ භාණ්ඩ එකතුවක් මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශන මට්ටමේ පවතී. ඩග්ලස් රණසිංහ මහතාගේ පරිත්‍යාගයෙන් හා මුදල් දි ලබා ගත් භාණ්ඩ මෙන් ම කැණීම්වලින් හා අවට ගොඩනැගිලි ඉදිකිරීමේ දී හමු වූ භාණ්ඩ මෙහි දී ප්‍රදර්ශනය කෙරේ. කෝට්ටේ ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක උරුමය ප්‍රකාශිත වන පරිදි මෙම කෞතුකාගාරය නිර්මාණය කර ඇත. මෙය 1995 කෞතුකාගාරයක් වශයෙන් මහජනයාට ප්‍රදර්ශනය කර තිබේ.

දුරකතනය : +94 11-2667377 / +94 11 - 3117392
කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරය
බංගලා හන්දිය,
ඇතුල්කෝට්ටේ.

බොරැල්ල පිටකෝට්ටේ හන්දියෙන් 10km ක් ගියවිට ඇතුල් කෝට්ටේ බංගලා හන්දියේ කෞතුකාගාරය පිහිටා තිබේ.

ඉහළට

මාතර තාරකා කොටුව කෞතුකාගාරය (ප්‍රාදේශීය)

මාතර ප්‍රාදේශිය කෞතුකාගාරය වශයෙන් පුරාවිද්‍යාත්මක උරුමයන් හා ඓතිහාසික වටිනාකමක් ඇති පුරාවස්තු ප්‍රදර්ශනය කිරිම මෙහි දී සිදු වේ. ඒ අනුව මේ කෞතුකාගරයේ දක්නට ඇති ප්‍රාග් ඓතිහාසික යුගය සම්බන්ධ අස්ථි සැකිල්ල විශේෂ වැදගත්කමක් ගනී. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර ආදී වශයෙන් යුගයන් නියෝජනය වන පරිදි යටත් විජිත යුගය දක්වා විකාශනය වෙමින් පැවත එන පුරාවස්තු සහ විස්තර පුවරු මෙහි දී ප්‍රදර්ශනය කෙරේ. ප්‍රාග් ඓතිහාසික, වාස්තු විද්‍යාව, කලාව, ශිලාලේඛන කාසි හා යටත්විජිත යුගය නියෝජනය වන පුරාවස්තු ප‍්‍රදර්ශන මටිටමේ පවතී.

දුරකතනය : +94 11 3167978

ඉහළට

යටාල කෞතුකාගාරය (ස්ථානීය)

 

යටාල දාගැබ කැණීමෙන් හමු වූ පුරාවස්තු තැන්පත් කර ස්ථානීය කෞතුකාගාරයක් වශයෙන් ප්‍රදර්ශන මට්ටමේ පවතී. විවිධ බුද්ධ ප්‍රතිමා, කැටයම් හා සෙල්ලිපි ආදී යටාල පූජා භූමියට අයත් පුරාවස්තු ප්‍රදර්ශනය සඳහා යොදා ගෙන තිබේ.

දුරකතනය : + 94 91 3907787

ඉහළට

කසාගල කෞතුකාගාරය (ස්ථානීය)

කසාගල විහාරයේ ඓතිහාසිකත්‍වය ප්‍රදර්ශනය කිරීම සඳහා ස්ථානීය කෞතුකාගාරයක් වශයෙන් එම ස්ථානයෙන් හමු වූ පුරාවස්තු හා කසාගල ස්ථානයට අයත් තොරතුරු ඇතුළත් විස්තර පුවරු ප්‍රදර්ශනයට තැබීමට යෝජිත සැළසුම් මට්ටමේ පවතින කෞතුකාගාරයකි.

ඉහළට

මුල්කිරිගල කෞතුකාගාරය (ස්ථානීය)

මුල්කිරිගල විහාරයේ ඓතිහාසිකත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා ස්ථානීය කෞතුකාගාරයක් වශයෙන් එම ස්ථානයෙන් හමු වූ පුරාවස්තු හා එම ස්ථානයට අයත් තොරතුරු ඇතුළත් විස්තර පුවරු ප්‍රදර්ශනයට තැබීමට යෝජිත සැළසුම් මට්ටමේ පවතින කෞතුකාගාරයකි.

ඉහළට

යාපනය කෞතුකාගාරය (ප්‍රාදේශීය)

ශ්‍රීමත් ආරුමුගම් නාවලර් මහතාට අයත්ව තිබූ ඉඩම වර්ෂ 1975 දී ආරුමුගම් නාවලර් පදනම මඟින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාග කළ අතර, ඉන් අනතුරුව වර්ෂ 1978 දී එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ ආචාර්ය රෝලන්ඞ් සිල්වා මහතාගේ අධීක්‍ෂණය මත කෞතුකාගාර ගොඩනැගිල්ල ඉදිකර කෞතුකාගාරයක් වශයෙන් ස්ථාපනය කරන ලදි. 1978 දී ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ලේ වැඩි ඉඩ ප්‍රමාණයක් ප්‍රදර්ශන කුටි සඳහා භාවිත කෙරේ.

යාපනය ප්‍රදේශය ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති මෙම ප්‍රාදේශිය කෞතුකාගාරය තුළ පුරාවිද්‍යාත්මක උරුමයන් හා ඓතිහාසික වටිනාකමක් ඇති පුරාවස්තු ප්‍රදර්ශනය කිරිම තුළ සිදු වේ. යාපනය කේන්ද්‍ර කර ගත් උතුරු පළාතේ විවිධ ස්ථාන හා පුද්ගලයන්ගෙන් ලද විශිෂ්ට ඝණයේ භාණ්ඩ එකතුවක් මෙහි ඇත. බෞද්ධ හා හිංදු ආගමික උරුමයන් හා සාමාන්‍ය ජන ජීවිතයේ තොරතුරු පිළිබඳ සාධකයන් වන එම භාණ්ඩ එකතුව ලෝහ, දැව, ශිලා යන ප්‍රධාන මාධ්‍යයන්ගෙන් නිර්මිතව ඇත. මීට අමතරව කාසි (විවිධ යුග නිරූපිත සහ ආකෘති) ගණනාවක් ද ඒ අතර වේ.

ඉහළට

වව්නියාව කෞතුකාගාරය (ප්‍රාදේශීය)

වව්නියා ප්‍රදේශය ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති මෙම ප්‍රාදේශිය කෞතුකාගාරය තුළ පුරාවිද්‍යාත්මක උරුමයන් හා ඓතිහාසික වටිනාකමක් ඇති පුරාවස්තු ප්‍රදර්ශනය කිරිම දක්නට ලැබේ.

ඉහළට

බුදුරුවගල කෞතුකාගාරය (ප්‍රාදේශීය)

බුදුරුවගල ප්‍රාදේශිය කෞතුකාගාරය වශයෙන් පුරාවිද්‍යාත්මක උරුමයන් හා ඓතිහාසික වටිනාකමක් ඇති පුරාවස්තු ප්‍රදර්ශනය කිරිම මෙහි දී සිදු වේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර ආදී වශයෙන් යුගයන් නියෝජනය වන පරිදි පැවත එන පුරාවස්තු ප්‍රදර්ශනය කෙරේ.

දුරකතනය : +94 55 33553617

ඉහළට

මාලිගාවිල කෞතුකාගාරය (ස්ථානීය)

මාලිගාවිල විහාරයේ ඓතිහාසිකත්‍වය ප්‍රදර්ශනය කිරීම සඳහා ස්ථානීය කෞතුකාගාරයක් වශයෙන් එම ස්ථානයෙන් හමු වූ පුරාවස්තු හා එම ස්ථානයට අයත් තොරතුරු ඇතුළත් විස්තර පුවරු ප්‍රදර්ශනයට තැබීමට යෝජිත සැළසුම් මට්ටමේ පවතින කෞතුකාගාරයකි.

දුරකතනය : +94 55 33577810

ඉහළට

දැදිගම කෞතුකාගාරය (ප්‍රාදේශීය)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කෞතුකාගාර ආරම්භ කිරීම, පුරාවිද්‍යා කෞතුකාගාරයන්හි වර්ධනය පෙන්වීමකි. එහි ප්‍රථම ප්‍රාදේශීය පුරාවිද්‍යා කෞතුකාගාරය වන්නේ ක්‍රි. ව. 1954 වර්ෂයේ දී ආරම්භ කරන ලද දැදිගම පුරාවිද්‍යා කෞතුකාගාරයයි. දැදිගම කොටවෙහෙර සූතිඝර චෛත්‍ය කැණීමෙන් ලත් පුරාවස්තු තැන්පත් කිරීමේ මූලික පරමාර්ථය මත මෙම කෞතුකාගාරය ඉදි කර ඇත. නමුත් පඬුවස්නුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ පරාක්‍රමබාහු සමයට අයත් නොයෙකුත් පුරාවස්තු ද මෙම කෞතුකාගාරයේ තැන්පත් කර ප්‍රදර්ශන මට්ටමකට තබා ඇත.

දුරකතනය : +94 45 2223035 / +94 36 3367718
දැදිගම පුරාවිද්‍යා කෞතුකාගාරය
තුංතොට,
දැදිගම.

කොළඹ නුවර පාරේ නෙළුම්දෙණිය හන්දියෙන් ගලපිටමඩ පාරේ 7km ක් පමණ ගියවිට කෞතුකාගාරය හමුවේ.

ඉහළට

සපයන සේවාවන්

  • සතියේ සෑම දිනකම කෞතුකාගාරය පෙ.ව 8.00 සිට ප.ව 5.00 දක්වා කෞතුකාගාරය විවෘතව තැබේ.
  • ප්‍රවේශ පත්‍රයක් නොමැතිව කෞතුකාගාරය නැරඹීමේ හැකියාව ඇත.
  • නරඹන්නන් සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනිම සඳහා නිලධාරින් විසින් මාර්ගෝපදේශකත්‍වය සපයනු ඇත.
  • කෞතුකාගාරය පිළිබඳ පර්යේෂණ කරන්නෙකුට තොරතුරු ලබා ගැනිමට අවශ්‍ය වේ නම් කෞතුකාගාර අධ්‍යක්‍ෂකගේ හෝ ප්‍රාදේශිය සහකාර අධ්‍යක්‍ෂකගේ අවසරය ලබා ගත යුතු ය.
  • ප්‍රදේශයට අදාළ කෞතුකාගාරයන්හි ප්‍රකාශන අළෙවි සැලක් පවත්වා ගෙන යන අතර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන ඒ තුළින් ලබා ගත හැකි ය.
  • අත්‍යවශ්‍ය කාර්යයකට හැර කෞතුක භාණ්ඩයන්හි ඡායාරූප ගැනීමේ අවසරයක් නොමැති අතර යම් හේතුවක් උඩ එම කෞතුක භාණ්ඩවල ඡායාරූප ලබා ගන්නේ නම් අධ්‍යක්‍ෂ ජනරාල්ගේ ලිඛ්ත අවසරය තිබිය යුතු ය.
  • බාහිර ආයතන මගින් පිහිටුවීමට බලාපොරොත්තු වන කෞතුකාගාර සඳහා අවශ්‍ය උපදෙස් හා දැනුම ලබා දීම.

2010 වසරේ සිදු කළ කාර්යයන්

  • කසාගල ප්‍රදර්ශනය සකස් කිරීම.
  • මුල්ගිරිගල ප්‍රදර්ශනය සකස් කිරීම.
  • මාලිගාවිල ප්‍රදර්ශනය සකස් කිරීම.
  • තාරකාකොටුව ප්‍රතිසංවිධාන කටයුතු.
  • දැදිගම පුවරු සකස් කිරීම.
  • කෝට්ටේ පුවරු සකස් කිරීම.
  • දැලිවල රජමහ විහාරයේ කෞතුක භාණ්ඩ ලේඛනගත කිරීම.
  • යාපහුව කෞතුකාගාරය විවෘත කිරීම.
  • රාජාංගනය කෞතුකාගාරය ප්‍රදර්ශනය සකස් කිරීම.
  • සේරුවිල කෞතුකාගාරයේ ප්‍රතිසංවිධාන කටයුතු.
  • වෙල්ගම්වෙහෙර කෞතුකාගාරය ඉදිකිරීම.
  • මිහින්තලය කෞතුකාගාකාරයේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය.
අවසන් යාවත්කාලීන කිරීම 2013 දෙසැම්බර් 08 වෙනි ඉරිදා, 04:35