මුල් පිටුව රසායන සංරක්‍ෂණ

රසායන සංරක්‍ෂණ අංශය

පෞරාණික සිතුවම්, මූර්ති සහ පුරාවස්තුවලට ස්වාභාවික හෝ වෙනත් හේතු මත සිදුවන හායනය අවම කිරීම සඳහා රසායනික සහ භෞතික ප්‍රතිකර්ම යෙදීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්‍ෂණ අංශයෙහි ප්‍රධාන කාර්යභාරයයි. එමගින් පෞරාණික සිතුවම්, මූර්ති සහ පුරාවස්තුවල ආයු කාලය දීර්ඝ කොට මතු පරපුර උදෙසා ආරක්‍ෂා කිරීම අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1890 වසරේ දී ආරම්භ කරන ලද නමුත් 1940 දශකය වනතුරු රසායන සංරක්‍ෂණ අංශයක් නො පැවතිණ. 1940 දශකයේ මුල්භාගයේ දී ලොව ප්‍රකට සීගිරි සිතුවම්වල බදාමය දුර්වල වී ගිලිහී යාමේ අවධානමක් ඇති වූ අතර එය ශක්තිමත් කිරිම සඳහා විශේෂඥයකු දිවයින තුළ නො වූයෙන් 1943 ජනවාරි 27 වන දින ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙහි රසඥ ඛාන් බහදුර් මොහොමඞ් සානා උල්ලා මහතා මෙරටට පැමිණ සීගිරි සිතුවම් තහවුරු කළේය. ඔහු විසින් පී. දොන් ඇම්බ්‍රෝස් මහතා රසායන සංරක්‍ෂණ කටයුතු සඳහා පුහුණු කරනු ලැබූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රසායන සංරක්‍ෂණ කටයුතු සඳහා මුලපුරනු ලැබූයේ ඒ අයුරිනි.

ඛාන් බහදුර් මොහොමඞ් සානා උල්ලා මහතා ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නැවත වරක් 1947 අප්‍රේල් මස 13 වන දින ශ්‍රී ලංකාවට පැමිණ එම වසරේ අගෝස්තු මස දක්වා මෙරට බිතුසිතුවම් සංරක්‍ෂණ කටයුතුවල නිරත වූයේ ය. එම ගමනේ දී පොළොන්නරුව තිවංක පිළිමගෙය සංරක්‍ෂණ කටයුතුවලට ප්‍රමුඛත්වය ලබාදුන් අතර ඊට අමතරව පොළොන්නරුව ලංකාතිලක පිළිමගෙය, ගල්විහාරය, පුල්ලිගොඩ සහ හිඳගල යන ස්ථානවල සිතුවම් සංරක්‍ෂණය සඳහා ද පියවර ගනිමින් මෙරට බිතුසිතුවම් සංරක්‍ෂණ ක්‍ෂෙ‍්ත්‍රයෙහි උන්නතිය කෙරෙහි සුවිශාල දායකත්වයක් දැක්වීය.

1949 නොවැම්බර් 1 දින රසායන සංරක්‍ෂණ කටයුතු සඳහා ප්‍රථම වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රසඥවරයකු බඳවා ගන්නා ලදි. ආධුනික රසඥ වශයෙන් එසේ දෙපාර්තමේන්තු සංරක්‍ෂණ අංශයට එක් වූ ආර්. එච්. ද සිල්වා මහතා ඉන්දීය පුරාවිද්‍යා රසඥ යටතේ ඉන්දියාවේ ඩේරාදුන් ස්ථානයේ දී පුහුණුව කරවනු ලැබීය.

මේ අතරතුර 1950 වනවිට නැවත වරක් සීගිරි සිතුවම්වල බදාමය දුර්වලව ගිලිහී යාම ආරම්භ වී තිබූ බැවින් සානා උල්ලා මහතා යටතේ වැඩ කිරීමෙන් අත්දැකීම් ලබා සිටි දෙපාර්තමේන්තුවෙහි ආදර්ශ සැලසුම්කරු ශරත් වත්තල මහතා ඒ සඳහා පිළියම් යෙදීමට සමත් විය.

1953 වසරේ දී ප්‍රථම වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා සංරක්‍ෂණ රසායනාගාරයක් කොළඹ සංගීත හා නැටුම් ආයතනයේ ගොඩනැගිල්ලක පිහිටවනු ලැබීය. 1950-60 දශක තුළ කෙමෙන් දියුණුවට පත් එම රසායනාගාරය බිතුසිතුවම් සංරක්‍ෂණයට අමතරව එළිමහනේ ඇති පැරණි ස්මාරකවල දිලීර සහ වල්පැළෑටි මර්දනය, බදාම තහවුරු කිරීම, පුරාවස්තු සංරක්‍ෂණය, නව සංරක්‍ෂණ ක්‍රමවේදයන් සඳහා අත්හදා බැලීම් සහ පර්යේෂණ පැවැත්වීම, සෙල්ලිපිවල ප්ලාස්ටික් අනුරූ තැනීම වැනි කටයුතු දක්වා සිය කාර්යභාරය පුළුල් කළේ ය. සංරක්‍ෂණ රසායනාගාරය කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල භූමියේ පිහිටි වර්තමාන රසායානාගාර ගොඩනැගිල්ල වෙත ගෙන එනු ලැබූයේ 1970 දශකයේ මුල් භාගයේ දී ය.

1967 වසරේ ඔක්තොබර් 14 වන දින රාත්‍රියෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිය ඉතිහාසය තුළ ඇති වූ බරපතලම අභියෝගයට මුහුණ දීමට සිදු විය. යම් කිසි පුද්ගලයකු විසින් එදින රාත්‍රියෙහි ලොව ප‍්‍රකට සීගිරි සිතුවම් මත තීන්ත ආලේප කොට විනාශ කර දමා තිබිණ. මෙය මුළු මහත් ලෝකය ම ආන්දෝලනයට ලක් කළ සිදුවීමක් වූ අතර එම තීන්ත ඉවත් කොට සීගිරි සිතුවම් යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගය පැවරී තිබුණේ දෙපාර්තමේන්තුවෙහි රසායන සංරක්‍ෂණ අංශයටයි. ආචාර්ය ආර්. එච්. ද සිල්වා මහතා ප්‍රමුඛ සංරක්‍ෂණ කණ්ඩායම විසින් ඉතාලි ජතික විශේෂඥ ලූසියානෝ මරන්සි මහතාගේ මාර්ගෝපදේශකත්වය මත මහත් පරිශ්‍රමයකින් පසුව සීගිරි සිතුවම් සමස්ත මානව සංහතිය උදෙසා ආරක්‍ෂා කර දීමට හැකිවීම රසායන සංරක්‍ෂණ අංශය ලද සුවිශේෂ ජයග්‍රහණයකි.

විනාශ වූ සීගිරි සිතුවම් යළි මතු කරමින්

ආචාර්ය ආර්. එච්. ද සිල්වා මහතා ලූසියානෝ මරන්සි මහතා

යළි මතු කළ සීගිරි සිතුවම්

රසායන සංරක්‍ෂණ අංශයේ ව්‍යුහය

රසායන සංරක්‍ෂණ අංශයේ කාර්යභාරය

රසායන සංරක්‍ෂණයට අදාළ පහත සඳහන් සියලූ ම කාර්යයන් ජාතික සහ අන්තර්ජාතික වශයෙන් පිළිගත් සංරක්‍ෂණ මූලධර්ම සහ ආචාරධර්මවලට අනුකූලව විද්‍යාත්මක පසුබිමක් තුළ සිදු කරනු ලබයි.

වැඩිදුර විස්තර ලබා ගැනීමට මාතෘකාව මත ක්ලික් කරන්න

ශ්‍රී ලංකාව ක්‍රි. පූ. 3 වන සියවසෙහි පමණ සිට පැවත එන අඛණ්ඩ සිතුවම් සම්ප්‍රදායකට උරුමකම් කියන අතර දිවයිනෙහි විවිධ ඓතිහාසික අවධීන් නියෝජනය කරන සිතුවම් සහිත ස්ථාන දහස් ගණනක් දිවයින පුරා විසිරී පවතී. මේ අතරින් සීගිරිය, දඹුල්ල ලෙන් විහාරය සහ පොළොන්නරුව තිවංක පිළිමගේ සිතුවම් ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත්වී ඇත. මෙම ස්ථාන ද ඇතුළත්ව පැරණි බෞද්ධ විහාරස්ථාන, පල්ලි, කෝවිල් සහ ලෙන් ආදී ස්ථානවල පවත්නා පෞරාණික සිතුවම්, වර්ණිත මූර්ති සංරක්‍ෂණය කිරීම රසායන සංරක්‍ෂණ අංශයේ ප්‍රධාන කාර්භාරයක් වේ. බිතුසිතුවම් සහ ලෙන් සිතුවම් හැරුණු කොට රෙදිපිළි, කැන්වස්, සම්, කඩදාසි, මැටි භාණ්ඩ, දැව ආදී වෙනත් පෘෂ්ඨයන් මත කරන ලද පැරණි සිතුවම් සංරක්‍ෂණය කිරීම ද රසායන සංරක්‍ෂණ අංශයේ කාර්යභාරයකි. වර්තමානය වන විට වාර්ෂිකව දිවයින පුරා විසිරී පවතින පෞරාණික සිතුවම් සහිත ස්ථාන පනහක් හැටක් අතර ප‍්‍රමාණයක් සංරක්‍ෂණයට ලක් කිරීමට රසායන සංරක්‍ෂණ අංශය සමත්ව සිටී.

ශ්‍රී ලංකා භූමිය තුළ හා ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාව තුළ සිදු කරනු ලබන පුරාවිද්‍යාත්මක කැණීම් සහ ගවේෂණ මගින් අනාවරණය කරගනු ලබන පුරාවස්තු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පුරාවිද්‍යා කෞතුකාගාරයන්හි ප්‍රදර්ශනයට තබා ඇති සහ ගබඩා කර ඇති පුරාවස්තු සහ වෙනත් ඕනෑම ආකාරයකින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබෙන සංරක්‍ෂණය කළ යුතු තත්ත්වයේ පවත්නා පුරාවස්තු සංරක්‍ෂණය කිරීම රසායන සංරක්‍ෂණ අංශයේ තවත් ප්‍රධාන කාර්යභාරයක් වේ. ලෝහ, දැව, අස්ථි, ඇත් දළ, රෙදිපිළ, කඩදාසි, පුස්කොළ පොත්, සම් භාණ්ඩ, මැටි භාණ්ඩ, වීදුරු සහ ශෛලමය භාණ්ඩ ආදී චංචල පුරාවස්තු සංරක්‍ෂණය මේ යටතේ සිදු කෙරේ. අදාළ පුරාවස්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ සංරක්‍ෂණ රසායනාගාරයට ගෙන ඒමෙන් හෝ කෞතුකාගාරවල පවත්නා පුරාවස්තු එම ස්ථානවලට සංරක්‍ෂණ කණ්ඩායම් යැවීමෙන් සංරක්‍ෂණ කටයුතු සිදු කරනු ලබයි. මේ සඳහා ප්‍රාදේශීය පුරාවිද්‍යා කෞතුකාගාර අනුබද්ධව කුඩා රසායනාගාර ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

නිශ්චල ස්මාරක සංරක්‍ෂණය කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙහි වාස්තුවිද්‍යා සංරක්‍ෂණ අංශයෙහි කාර්යභාරයක් වන නමුදු එම ස්මාරකවල බදාම තහවුරු කිරීම, ඇල්ගි, ලයිකන, දිලීර සහ වල් පැලෑටි මර්දනය, භෞතිකව හානි වූ ශෛලමය ප්‍රතිමා සහ කුළුණු ආදිය ප්‍රතිසංස්කරණය කිරීම ද රසායන සංරක්‍ෂණ අංශය මගින් සිදු කරනු ලබයි.

පෞරාණික සිතුවම්, වර්ණිත මූර්ති සහ වර්ණිත භාණ්ඩ පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් ලේඛනයක් සකස් කිරීමත් ඒවා ජායාරූප මාධ්‍යයෙන් වාර්තාගත කිරීමත් සංරක්‍ෂණ අංශය මගින් සිදු කරනු ලබයි. එම තොරතුරු ඇතුළත් පරිගණක දත්ත ගොණුවක් පවත්වාගෙන යනු ලබන අතර ජායාරූප ඇතූළත් සංයුක්ත තැටි සකස් කිරීම ද සිදු කරයි. සිතුවමක් රසායනික සහ භෞතික ක්‍රමවේදයන් මගින් සංරක්‍ෂණය කරනු ලැබූවද එය කාලයත් සමග විනාශ වී යාම වැළැක්විය නොහැකි ය. එබැවින් ජායාරූප මාධ්‍යයයෙන් එය වාර්තා කිරීම සිතුවම් සංරක්‍ෂණ ක්‍රමවේදයකි. සිතුවම් සංරක්‍ෂණය පිළිබඳ විධිමත් කළමනාකාරීත්වයක් ඇති කිරීමත්, ශ්‍රී ලංකාවේ පෞරාණික සිතුවම් පිළිබඳ අධ්‍යයනය කරනු ලබන විද්‍යාර්ථීන් සඳහා රූපමය ලේඛනාගාරයක් (Image Archive) අනාගතයේ දී සකස් කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පුරාවිද්‍යා කෞතුකාගාරවල ප්‍රදර්ශනයට තබා ඇති සහ ගබඩා කර ඇති සංරක්‍ෂණය කළ යුතු පුරාවස්තු පිළිබඳ තොරතුරු ඇතුළත් ලේඛනයක් සකස් කිරීමද රසායන සංරක්‍ෂණ අංශය මගින් සිදු කෙරේ. එම තොරතුරු ද පරිගණක දත්ත ගොණුවකට ඇතුළත් කරයි. මෙය පුරාවස්තු සංරක්‍ෂණ කාර්යාවලියේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම සහ සංරක්‍ෂණ කළමනාකාරණයේ පහසුව සඳහා වූ ව්‍යාපෘතියකි.

රසායන සංරක්‍ෂණයේ දී දේශීය වශයෙන් වඩාත් උචිත නව ප්‍රතිකර්ම සොයා ගැනීම සඳහාත් බිතුසිතුවම්, මූර්ති සහ පුරාවස්තු හායනය කෙරෙහි බලපවත්නා තර්ජනයන් හඳුනා ගැනීම සඳහාත් පර්යේෂණ පැවැත්වීම රසායන සංරක්‍ෂණ අංශයෙහි තවත් ප්‍රමුඛ කාර්යභාරයකි. රසායන සංරක්‍ෂණ අංශය යටතේ ක‍්‍රියාත්මක වන සංරක්‍ෂණ රසායනාගාරය රසායන සංරක්‍ෂණයට අදාළ විශ්ලේෂණ, පර්යේෂණ හා අත්හදාබැලීම් සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක් ලබමින් සිටී.

මුල් කෘතිය කෞතුකාගාර ප්‍රදර්ශනය සහ වෙනත් ප්‍රදර්ශන සඳහා තැබිය නොහැකි අවස්ථාවල දී එම කෘතියේ ආරක්‍ෂාව සඳහා එහි අනුකෘති නිර්මාණය කරනු ලබයි. මේ සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රසායන සංරක්‍ෂණ අංශය මගින් සැලසුම් සකස් කරමින් පවතී.

විශේෂිත බිතුසිතුවම් පිටපත් කිරීම ද මුල් කෘතියේ ආරක්‍ෂාව සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ගයක් වන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භක අවධියේ සිටම මේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. නැවත එම කටයුතු ආරම්භ කිරීමට රසායන සංරක්‍ෂණ අංශය පියවර ගෙන ඇත.

බිතුසිතුවමක් එක් වරක් පමණක් සංරක්‍ෂණ කිරීම ප්‍රමාණවත් නොවේ. එම සිතුවමෙහි හායනයට බලපෑ හේතු කාරක නැවත ක්‍රියා කිරීමෙන් කාලයාගේ ඇවෑමෙන් සිතුවම නැවත හායනයට පත් වේ. එබැවින් එම හේතු කාරක නැවත ක්‍රියාත්මක වීම අවම කිරීම සඳහා වරින් වර තත්ත්ව නිරීක්‍ෂණය කිරීම කළ යුතු වේ. ඒ අනුව සිතුවමෙහි තත්ත්වය මෙන්ම ඊට බලපෑ පාරිසරික සාධක වරින් වර පරීක්‍ෂා කර වාර්තා තබා ගැනීම ද සංරක්‍ෂණ කළමනාකරණ ක්‍රියාදාමයේ දී රසායන සංරක්‍ෂණ අංශය මගින් සිදු කෙරෙන කාර්යභාරයකි. එම ස්ථාන හිමිකරුවන් එම සිතුවමිවල ආරක්‍ෂාව සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳ දැනුවත් කිරීම ද ඒ සමග සිදු කරනු ලබයි.

චංචල සහ නිෂ්චල පුරාවස්තු (විශේෂයෙන් පුරාවිද්‍යා කෞතුකාගාරවල ප්‍රදර්ශනයට තබා ඇති කෞතුක භාණ්ඩ) සංරක්‍ෂණය කිරීමෙන් පසු එය තව දුරටත් හායනය වීම වැළැක්වීම සඳහා එම භාණ්ඩ සහ ඒවා හායනය වීමට බලපාන පාරිසරික සාධක වරින් වර පරීක්‍ෂා කරමින් තත්ත්ව වාර්තා සකස් කිරීම සහ එම භාණ්ඩවල ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳ කෞතුකාගාර භාරකරුවන් දැනුවත් කිරීම ද අංශය මගින් සිදු කෙරේ.

ස්මාරක සහ ස්ථාන සංරක්‍ෂණය කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රකාශ පත්‍රයේ............. 16 වන සටහන අනුව ජායාරූප සහ සිතියම් සහිත විග‍්‍රහත්මක සහ විචාරාත්මක වාර්තා ස්වරූපයෙන් සෑම තහවුරු කිරීමක්ම, ප්‍රතිසංස්කරණය කිරීමක්ම විධිමත්ව ලේඛනගත කළ යුතු වේ. ඒ අනුව රසායන සංරක්‍ෂණ අංශය මගින් සිදු කරෙන සෑම නිරීක්‍ෂණ, සංරක්‍ෂණ සහ පර්යේෂණ කටයුත්තක්ම ඉහත පරිදි වාර්තාගත කිරීමට රසායන සංරක්‍ෂණ අංශය කටයුතු කරයි. අවශ්‍ය අයෙකුට එම වාර්තා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ලිඛ්ත අවසරයක් සහිතව අධ්‍යයනය කිරීමට පහසුකම් සලසා ඇත.

සංරක්‍ෂණ ක්‍රියාවලියේ ගුණාත්මක බව වර්ධනය කිරීම සඳහා නූතන සංරක්‍ෂණ ක්‍රමවේදයන් හා තාක්‍ෂණය පිළිබඳව රසායන සංරක්‍ෂණ අංශයේ නිලධාරීන්ගේ දැනුම නිරන්තරයෙන් යාවත්කාලීන කළ යුතු වේ. මේ සඳහා ජාත්‍යන්තර විශේෂඥවරුන්ගේ සහ ආයතනවල සහාය ද සහිතව පුහුණු වැඩමුළු හරහා එම දැනුම ලබා ගනු ලබයි.

පෞරාණික උරුමය ආරක්‍ෂා කිරීම පිළිබඳ තරුණ පරපුර දැනුවත් කිරීම සහ ඒ පිළිබඳ ඔවුන් කෙරෙහි උත්තේජනයක් ලබා දීම සඳහා පාසැල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා රසායන සංරක්‍ෂණය සම්බන්ධ දැනුම ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

වසර දහසක් පැරණි දැව පාරුවක් සංරක්‍ෂණය

1992 වසරේ දී ශ්‍රී ලංකාවෙහි බස්නාහිර පළතේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ලත්පඳුර නම් ප්‍රදේශයේ ඇළකින් මතු වූ පැරණි දැව පාරුවක් පිළිබඳ තොරතුරක් ප්‍රදේශවාසින්ගෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබුණි. බටහිර ඕස්ට්‍රේලියානු කෞතුකාගාරයේ විශේෂඥ සංරක්‍ෂක ඉයන් ගොෆ්රී මහතා මෙරටට පැමිණ එවක ගවේෂණ අංශයේ සහකාර අධ්‍යක්‍ෂ වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සමඟ එම ඔරුව පරීක්‍ෂා කොට සංරක්‍ෂණ තත්ත්ව වාර්තාවක් සහ ඇස්තමේන්තුවක් සකස් කළේය. මෙය දිගින් අඩි 50.11 ක් ද පළලින් අඩි 3 ත් 4 ත් අතර වූ ද පාරුවක එක් කොටසකි. මෙය කාබන් 14 කාලනීර්ණයට ලක්කළ අතර ඒ අනුව මෙය අදින් වසර 960 ක් පමණ පරණි බව තහවුරු විය. ජලයෙන් ඉවතට ගැනීම නිසා වියළීමෙන් අධික ලෙස පැළීමට ලක් වී තිබූ මෙම දැව පාරුව රසායන ද්‍රව්‍ය භාවිතයෙන් සංරක්‍ෂණයට ලක්කිරීම රසායන සංරක්‍ෂණ අංශය විසින් සිදු කරන ලද සුවිශේෂ ව්‍යාපෘතියකි. මේ වනවිට මෙය මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය සඳහා සූදානම් කරමින් පවති.

 

දැවය විනාශ වී තිබූ ආකාරය

යාන්ත්‍රිකව පිරිසිදු කරමින්

සංරක්‍ෂණයෙන් පසු පාරුව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් විසින් පරීක්‍ෂා කරනු ලබමින්

සංරක්‍ෂණයට ලක් කළ තවත් දැව පාරුවක්

මෙය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ඔයෙන් 1998 මාර්තු මාසයේ දී වැලිගොඩ දමන මිනිසුන්ට හමු වී ඇත. ඇමරිකාවේ බීටා ඇනලිසිස් ආයතනය මගින් කාලනීර්ණය කරන ලද මෙම පාරුව අදින් වසර 1270 ක් පමණ පැරණි බව අනාවරණය කර ගන්නා ලදි. කොළඹ කෞතුකාගාරයේ ජල ටැංකියක් තුළ මෙය බහා තිබුණූ අතර 2008 වර්ෂයේ ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංස්කෘතික සහයෝගිතා ව්‍යාපෘතිය මගින් මුදල් ප්‍රතිපාදනය කිරීමේ හේතුවෙන් මෙහි සංරක්‍ෂණ කටයුතු ආරම්භ කිරීමට හැකි විය. ලී කුඩු භාවිතයෙන් පාලිත තත්ත්ව යටතේ පවනේ වියළීමේ ක්‍රමයට සංරක්‍ෂණය කිරීමට තීරණය කෙරිණ. හැකිළීම වැළැක්වීම සඳහා කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත නො කරන මෙම ක්‍රමය සාම්ප්‍රදායික ක්‍රමයකි. ක්‍ෂුද්‍රජීවී වර්ධනය වැළැක්වීම සඳහා බෝරික් ඇසිඞ් සහ බොරැක්ස් භාවිත කරන ලදි. ලී කුඩු භාවිතය වඩාත් ලාභදායී ක්‍රමයක් සේ ම දැවය සෙමින් වියළීමට ලක් කිරීම නිසා වියළීමේ දී හැකිළෙන ප්‍රමාණය ද අඩු වේ.හැකිළීමේ ප්‍රතිශතය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නො කඩවා නිරීක්‍ෂණය කරනු ලබයි. මෙය මේ වනවිට මහජනතාව සඳහා ප්‍රදර්ශනයට සුදානම් කෙරෙමින් පවතී.

පැරණි කාලතුවක්කව සංරක්‍ෂණය

පෘතුගීසි සමයට අයත් යැයි සිතිය හැකි තාක්‍ෂණික ලක්‍ෂණ ඇති තඹ මිශ්‍ර ලෝහ කාලතුවක්කුවක් 2007 වර්ෂයේ දී මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට ගිය ධීවරයන් පිරිසක් විසින් සොයාගෙන එමින් තිබිය දී පුත්තලම, මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාරදෙන ලදි. මෙය ලූතිනන් කොමදෝරු සෝමසිරි දේවේන්ද්‍ර මහතාගේ අදහස අනුව සහ 1976 ග්‍රන්ථයේ පිටු අංක 140 හි සටහන් විස්තර සහ ජායාරූපවලට අනුව පෘතුගීසි සමයට අයත්යැයි තහවුරු වේ.

මෙම කාලතුවක්කුව ශ්‍රී ලංකාවේ වයඹ දිග මුන්දලම වෙරළ තීරයේ සිට කි. මී. 15 ක් දුර මුහුදේ සිට ගෙන එන ලද්දකි. මාස කිහිපයක් පුත්තලම කෞතුකාගාර පරිශ්‍රයේ තබා තිබූ මෙම කාලතුවක්කුව කොළඹ කෞතුකාගාර පරිශ්‍රයට ගෙන එනු ලැබූයේ එහි රසායනික සංරක්‍ෂණ කටයුතු සිදු කිරීම සඳහා ය. සංරක්‍ෂණ කටයුතු සඳහා මූල්‍යමය දායකත්වය සපයන ලද්දේ ශ්‍රී ලංකා - නෙදර්ලන්ත සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ සංස්කෘතික අමාත්‍යංශය මගිනි. සංරක්‍ෂණයෙන් පසුව මෙය ගාල්ල කොටුව ඕලන්ද ගොඩනැගිල්ලේ ස්ථාපිත කළ මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ මහජන ප‍්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත .

කාලතුවක්කුව සංරක්‍ෂණය කිරීමට පෙර
පුත්තලම පුරාවිද්‍යා කෞතුකාගාර පරිශ්‍රයේ දී රසායන ද්‍රව්‍ය යොදමින් යාන්ත්‍රිකව පිරිසිදු කරමින්

ඔවාගිරිය බුදු පිළිමය සංරක්‍ෂණය

ඔවාගිරිය පුරාවිද්‍යා ස්ථානය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇත. නටබුන්ව තිබු ස්ථානය ගල් ඔය නිම්න සංවර්ධන මණ්ඩලයේ ඉල්ලීමක් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 1956 වර්ෂයේ දී ගවේෂණය කොට අනාවරණය කරගන්නා ලදි. මෙම නටබුන්වලින් වැඩි කොටසක් ගල් ඔය නිම්න සංවර්ධන ව්‍යාපාරයේ දී ට්‍රැක්ටර්වලින් විනාශ වී තිබිණි. නටබුන් වූ දාගැබක්, පිළිම ගෙයක් සහ ගල් කුළුණු හිස්, මුරගල්, කොරවක් ගල්, පැතලි උළු වැනි ගොඩනැගිලි අවශේෂ මෙහි ව්සිර පවතී. මේ අතර වූ අඩි 11 1/2 ක් පමණ උස් වූ ස්ථටික හුණු ගලින් නෙළන ලද දෙඅත් කැඩුණු කවන්ධ බුද්ධ ප්‍රතිමාව 2008 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්‍ෂණ අංශය මගින් සංරක්‍ෂණය ආරම්භ කරන ලදි. සංරක්‍ෂණය ආරම්භ කරන අවස්ථාව වන විට බිම පතිත වී උරහිස් කොටස කැඩී තිබූ පිළිමය විශේෂයෙන් සකස් කරන ලද දැව රාමුවක සහ කප්පියක ආධාරයෙන් ඔසවා ස්ථාපිත කරනු ලැබීය.

බිම පතිත වී තිබූ කවන්ධ පිළිමය කප්පි යොදා එසවීම පිළිමයේ දෙපා ගල්කුඩු මිශ‍්‍රණයෙන් ප‍්‍රතිනිර්මාණය කිරීම
ශීර්ෂය කවන්ධයට සවි කිරීමෙන් අනතුරුව පිළිමය සංරක්‍ෂණයෙන් පසු

පැරණි විලාසිතා වත්මන් සමාජයට

පැරණි සමාජයේ ඇඳුම් පැළඳුම් සහ විලාසිතාවන් වර්තමාන සහ අනාගත පරපුරට දැක බලා ගැනීමට සැලැස්වීමේ අරමුණින් පැරණි රෙදි පිළි සංරක්‍ෂණ ව්‍යාපෘතියක් රසායන සංරක්‍ෂණ අංශය මගින් අරඹා ඇත. මෙහි ප්‍රථම පියවර වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රාදේශීය කෞතුකාගාරයක් වන කෝට්ටේ ඊ. ඩබ්. පෙරේරා අනුස්මරණ කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා ඇති පැරණි රෙදි පිළි අතරින් කබාකුරුත්තු කිහිපයක් සංරක්‍ෂණයට භාජනය කරන ලදි. කබාකුරුත්තු යනු පෘතුගීසි පාලන අවධියේ දී මුහුදුබඩ ප්‍රදේශවල මධ්‍යම පාන්තික කාන්තාවන් විසින් භාවිත කළ උඩුකය ඇඳුම් විශේෂයකි. මෙය සුදු කපු රෙද්දෙන් නිම කරන ලද අත්දිග කෙටි සැට්ට විශේෂයක් වන අතර කර වටාත්, අත් සහ ඉණ වටාත් රේන්ද ඇල්ලීමෙන් අලංකාර කර සැට්ටයේ ඉදිරිපස සහ පිටුපස පලූ තනි රෙදිකඩකින් කපා තිබේ. මෙම ඇඳුම් විලාසිතාව පෘතුගීසි අවධියෙන් පසුව ලන්දේසි අවධිය සහ බ්‍රිතාන්‍ය අවධිය දක්වා ම දිවයිනෙහි වෙරළබඩ, විශේෂයෙන් දකුණු දිග ප්‍රදේශයන්හි කාන්තාවන් අතර වඩාත් ප්‍රචලිතව පැවතුණි. වර්තමානයෙහි ද දකුණු දිග ඇතැම් ප්‍රදේශවල මෙම විලාසිතාව ශේෂව පවතී.

සංරක්‍ෂණයට පෙර රසායනිකව පවිත්‍ර කරමින්
ආධාරක මගින් ශක්තිමත් කිරීම සංරක්‍ෂයෙන් පසු

ඉහළට

අවසන් යාවත්කාලීන කිරීම 2011 නොවැම්බර් 28 වෙනි සදුදා, 07:44